විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දිනය එකම දවසකට යෙදෙනුයේ හෙට වැඩිහිටියා වන්නේ අද ළමයා බව නැවත නැවතත් ඔබට මතක් කර දීමට ය. එහෙත් මේ අවකාශය තුළ නිදහස උපරිමයෙන් විඳීය යුතු තැනැත්තා වන ළමයාගේ රැකවරණය අවදානමකට ලක්කරන්නේ ද එකී වැඩිහිටියාමය. එහෙයින් අනාගතයට ශක්තිමත් පෞරුෂයකින් යුතු දරුවකු තැනීමෙහිලා ළමයා සුරක්ෂිත කිරීමට ශ්‍රී ලාංකීය නීතිය බලාත්මක වන ආකාරය පිළිබඳව කතා කිරීමට වර්ණ තුළින් අද ඔබ හමුවන පළමු සහෘදයා නීතිඥ සුජන්තිකා ආරියදාස මහත්මියයි. මේ ඇය සමග කළ සංවාද සටහනකි.
නීතිඥතුමියනි, ළමයා සම්බන්ධයෙන් ලෝකයම පිළිගත් පොදු අර්ථකථනයක් තිබුනත් ශ්‍රී ලංකාවේ නීතිය තුළ ළමයාට විවිධ නිර්වචන දීලා තියෙනවා ඇත්තෙන්ම ළමයා කියන්නෙ කවුද?
ජාත්‍යන්තර නීතියේ පිළිගැනීම අනුව වයස අවුරුදු 18 ට අඩු තැනැත්තා ළමයෙක් විදියට හැඳින්වූවත්, ලංකාවේ භාවිතා වන විවිධ අණපනත් මගින් උදාහරණ විදිහට දණ්ඩ නීති සංග්‍රහය, ළමා හා යෞවන පනත, අයාල ආඥා පනත, ළමයින් සේවයේ යෙදවීමේ ආඥා පනත ආදිය තුළ එක් එක් තැන් වල වයස අවුරුදු 14ට අඩු 16ට අඩු සහ 18ට අඩු තැනැත්තා ළමයා කියලා දැක්වුවාට සමස්තයක් විදිහට ගත්තහම ළමයා කියන්නේ අවුරුදු 18 ට අඩු ඕනෑම පුද්ගලයෙක් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්.
ළමයා ගැන කතා කරන විට නිරන්තරයෙන් අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ ළමා අපයෝජනය ගැනයි. මෙය අර්ථකථනය කරන්නේ කොහොමද?
අපයෝජනය විදිහට අපි හඳුනා ගන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් නොසලකා, ළමයෙකුගේ යහපතට එරෙහිව කරන ලද ඕනෑම ආකාරයේ අයහපත් ක්‍රියාවක් විදහටයි. සරලවම කිව්වොත් ළමුන් වැරදි ක්‍රියාවන් සඳහා යොදවා ගැනීම, වැරදි ක්‍රියාවන් කිරීම සඳහා යෝජනා කිරීම සහ ළමයෙකුට වැරදි ක්‍රියාවක් කිරීම වගේ දේවල්.
ළමා අපයෝජන වරදක් සම්බන්ධයෙන් ලංකාවේ ඇති නීතිමය පසුබිම කොයි ආකාරයෙන්
ද?
ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන තියෙනවා.
ආදිය මගින් ළමා අපයෝජන වැරදි සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන දක්වලා තියෙනවා. මේ අතරින් දණ්ඩ නීති සංග්‍රහයේ විශේෂ නෛතික ප්‍රතිපාදන කිහිපයක් දකින්න පුළුවන්. ඒ තමයි, 1995 අංක 22 දරණ සංශෝධිත දණ්ඩනීති සංග්‍රහ පනත ට අනුව ළමයින්ට අදාලව කරනු ලබන අසභ්‍ය පළකිරීම්, ප්‍රදර්ශන ආදියට, වයස අවුරුදු 12ට අඩු දරුවකු දෙමව්පියෝ හෝ භාරකරුවන් විසින් බැහැරලීම හෝ අත්හැරීමට, ළමයින් කෘරත්වයට භාජනය කිරීම, ලිංගික අතවරය, කුට්ටනය, ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, වයස අවුරුදු 18ට අඩු ස්ත්‍රියක් දූෂණය කිරීම, ව්‍යාභිචාරය, අස්වාභාවික ක්‍රියා සහ බරපතළ ලිංගික අපයෝජනය ආදිය සඳහා දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන අතර ඔවුන්ට අවුරුදු 05, 10, 20 අතර කාලයක බරපතළ සිර දඬුවම් වලට යටත් වීමට සිදු වෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕන කරුණක් තමයි ළමයා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලංකාවේ නෛතිකව ස්ථාපනය කරන ලද ආයතන කිහිපයක් තියෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරී පනත මගින් ජාතික ළමාරක්ෂණ අධිකාරිය පිහිටෙව්වා. මේ ආයතනයේ මූලික අරමුණ තමයි ළමා අපයෝජන වැළැක්වීම, අපයෝජනය වූ දරුවන් සඳහා රැකවරණය සැපයීම සහ එවැනි අපයෝජන සම්බන්ධයෙන් ඊට විරුද්ධව කටයුතු කිරීමයි. ඒ වගෙම තමයි ළමා හා යෞවන ආඥා පනතේ ප්‍රතිපාදන රාශියක් මේ සම්බන්ධයෙන් තියෙනවා. මීට අමතරව ළමා හා කාන්තා කාර්යාංශය, පරිවාස සේවා දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂම සහ රාජ්‍ය නොවන ආයතන වර්තමානයේ දී ළමා අපයෝජනය වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කල හැකි ආයතන ලෙස ලංකාවේ ස්ථාපිත වෙලා තියෙනවා.
ළමා අපයෝජනයක් කිවූ සැනින් අපේ මතකයට එන්නේ ලිංගික අපයෝජනය ඇත්තෙන්ම ළමයෙක් අපයෝජනය වන්නේ ලිංගිකව පමණද?
නැහැ ළමයෙක් අපයෝජනය වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එක් එක් අය සහ විවිධ පොත් වල ඒ සම්බන්ධයෙන් නොයෙක් අදහස් දක්වලා තියෙනවා. නමුත් පොදුවේ ගත්තහම අපයෝජන කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි,
* ළමයෙක් කෙරෙහි සිදුවන කායික අපයෝජනය.
* ළමයෙක් කෙරෙහි සිදුවන මානසික අපයෝජනය
* ලිංගික අපයෝජනය ලෙසයි. මෙයින්,
කායික අපයෝජනය කියන්නේ ළමයෙක්ට පහරදීම, නිරාහාරව තැබීම, තුවාල සිදු කිරීම, නිවාස තුළ ප්‍රචණ්ඩත්වයට පත් කිරීම වැනි දේවල්. ළමයෙක්ට සිදුවන මානසික අපයෝජනයක් කියන්නේ ළමයෙක් බියගැන්වීම, තර්ජනය කිරීම, කොන් කිරීම, නොසලකා හැරීම, සෙනෙහස අහිමි කිරීම වැනි දේවල්. ලිංගික අපයෝජනය කියන්නේ ළමයෙක් කිසියම් ලිංගික ක්‍රියාවක යොදාගැනීම, අවුරුදු 18ට අඩු ගැහැණු ළමයෙක් දූෂණය කිරීම, බරපතළ ලිංගික අපයෝජනය, කුට්ටනය, වැනි දේවල් දක්වන්න පුළුවන්.
අපයෝජනයක් සම්බන්ධයෙන් වරදකට වැරදිකරුවෙක් බවට පාසල් ශිෂ්‍යයෙකු පත්වුවහොත් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නේ එම වරදට අදාල නීතිය ම ද?
ඔව් ඒ අදාළ නෛතික ප්‍රතිපාදන ම තමයි යොදාගන්නේ. නමුත් එහි පොඩි වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට 1995 අංක 22 දරණ සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහ පනතේ, වයස අවුරුදු 18ට අඩු ස්ත්‍රීයක් දූෂණය කිරීම සහ මානසික වශයෙන් හෝ ශාරීරික වශයෙන් ආබාධිත ස්ත්‍රියක් දූෂණය කිරීමට අවුරුදු 10කට නොඅඩු අවුරුදු 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමත්, දඩයක් හා වන්දි මුදලක් ගෙවන්න ඕන. නමුත් වයස අවුරුදු 16 ට අඩු තැනැත්තෙකු සම්බන්ධයෙන් ඒ වරද සිදු කොට ඇති අවස්ථාවක වරද සිදුකරපු තැනැත්තා වයස අවුරුදු 18 ට අඩුයි නම් සංසර්ගයේ සිදුවෙලා තියෙන්නේ අනෙකාගේ කැමැත්ත මත නම් අවුරුදු 10කට අඩු කාලයක් බන්ධනාගාර ගත කරනවා. සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අවුරුදු 12ට අඩු පිරිමි ළමයෙකුට ස්ත්‍රී දූෂණ ක්‍රියාවක යෙදෙන්න බැහැ කියලා පූර්ව නිගමනයක් තිබුණත් පසු කාලීනව එය වයස අවුරුදු 8ට අඩු විදිහට සංශෝධනය කරලා තියෙනවා. මෙවන් සිද්ධියක් විමර්ශනය කිරීම හා බන්ධනාගාර ගත කිරීම් වලදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ වෙනම වැඩ පිළිවෙළක්. ඒ වගේ අවස්ථාවක ළමා අපරාධකරුවන් වැඩිහිටි අපරාධකරුවන්ගෙන් වෙන් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම ඔවුන්ව පරිවාස භාරයේ තියෙනවා.
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ළමයෙකුගෙන් සාක්ෂි ලබා ගත යුතු ආකාරය ගැන නීති සම්පාදනය වෙලා තියෙනවද?
සාමාන්‍යයෙන් ළමයෙකුගෙන් ලබාගන්නා සාක්ෂි අධිකරණයේදී සියයට සීයක් ම පිළිගන්නේ නැහැ. හැබැයි ළමයෙකුගේ සාක්ෂි අධිකරණය බැහැර කරන්නේත් නැහැ. අධිකරණ විනිසුරුවරයා විසින් ළමයා සාක්ෂි ලබාදෙන්නෙ අවබෝධයකින් ද නැතිනම් කාගේ හරි අනුදැනුමකින් ද කියන දේ පරික්ෂා කරලා ඔහුගේ හෝ ඇයගේ සාක්ෂි පිළිගන්වා. මෙවන් සිදුවීමකදී දරුවාට අධිකරණයට පැමිණ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ලිංගික අපයෝජන සිදුවීමකදී විත්තිකරුවා අධිකරණයේ පෙනී සිටින නිසා වින්දිතයා වු ළමයාට අධිකරණයෙන් පිටත සිට වීඩියෝ මගින් සාක්ෂි ලබාදීමේ හැකියාවක් තියෙනවා. මේ ක්‍රමවේදය ලංකාවේ ප්‍රාථමික මට්ටමෙන් තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ.
කුඩා වයසේදී අපයෝජනයට ලක්වන දරුවෙකුට අවුරුදු කිහිපයකට පසුව තමාට සිදු වූ වරදට එරෙහිව නීතියේ පිළිසරණ බලාපොරොත්තු විය හැකිද?
අපරාධ නඩු විධාන සංග්‍රහෙයේ ප්‍රතිපාදන ප්‍රකාරව ළමා අපයෝජන වරදක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක්ට නඩුවක් ගොනු කිරීමේ අයිතිය ඒ අපරාධය හෝ වරද සිදුවී වසර 20ක් ඇතුළත ලැබෙනවා. නමුත් අවුරුදු 20 ඉක්මවූවාට පසුව ඒ අපරාධය සම්බන්ධයෙන් නඩුවක් පැවරීමේ හැකියාව නැහැ. ප්‍රායෝගිකව බලනකොට ළමයෙක් සම්බන්ධ වරදකදී නම් අපරාධය වු වහාම අප්‍රමාදීව ඒ සම්බන්ධයෙන් පොලීසිය හෝ අදාළ පාර්ශවයන් දැනුවත් කරන එක තමයි සුදුසුම. නැත්නම් වැදගත් සාක්ෂි විනාශ වෙලා යන්න පුළුවන්. සෘජු සහා පරිවේෂණීය සාක්ෂි විනාශ වූනාම නීතිය හමුවේ වරද සිදු වූ බවට ඔප්පු කරන්න බැහැ. ඒ නිසා වරද සිදු වූ දිනයේම ඒ ගැන පැමිණිලි කරොත් වින්දිත තැනැත්තාට හෝ තැනැත්තියට සාධාරණයක් ඉටු කරගන්න පුළුවන්.
“අපට ප්‍රයෝගිකව මෙවන් සිදුවීම් අධ්‍යනය කරන විට පෙනුන කාරණාවක් වුනේ, වැඩි වශයෙන් දරුවෙකුට අකටයුත්තක් සිදු වී තිබුනේ තම පවුලේම අයෙකුගෙන්, නැදෑයෙකුගෙන් හෝ අසල්වැසියෙක්ගෙන් බවයි.”
ශාරීරික හා මානසික දුබලතා තියන දරුවන් සම්බන්ධයෙන් නීතිය වෙනම කතා කරනවා. ඒත් සංක්‍රාන්තික ළමයි සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට එරෙහිව මොනයම් හෝ අපයෝජනයක් සිදු වූවොත් ක්‍රියාත්මක වීම සඳහා ප්‍රමාණවත් නීතියක් ලංකාවේ තියෙනවා. 1995 අංක 22 දරණ සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහ පනතට අනුව මානසික වශයෙන් හෝ ශාරීරික වශයෙන් ආබාධිත ස්ත්‍රියක් දූෂණය කිරීමට අවුරුදු 10කට නොඅඩු අවුරුදු 20 කට නොවැඩි බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමත්, දඩයක් හා වන්දි මුදලක්ද ගෙවිය යුතුයි. එකට හේතුව තමයි ශාරිරික හා මානසික වශයෙන්දුබලතා තියෙන ළමයෙක් හා සාමාන්‍ය ළමයෙක්ව එකම විදිහට සාමාන්‍යකරණය කල නොහැකි වීම.
වර්ථමානයේදී අන්තර්ජාල පරිහරණය තුළ ළමයින්ට සිදුවන අපයෝජන වල සීඝ්‍රතාවයක් දක්නට ලැබෙනවා. එයින් ළමයාව ආරක්ෂා කරගැනීමට මේ වෙනකොට අපේ රට තුළ නීතිමය ප්‍රතිපාදන තියෙනවද?
ඇත්තෙන්ම සමාජ මාධ්‍ය වල සිදුවන අකටයුතුකම් වලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනට ලංකාවේ පවතින නීතිය ක්‍රියාත්මක වීමේදී සෘජු සහ පැහැදිලි බවක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් පවතින නීතිය, අන්තර්ජාලය මත පදනම් වී කෙරෙන ළමා අපයෝජන සඳහා වක්‍රාකාරව යොදාගන්න පුළුවන්. උදාහරණ විදිහට,
* දණ්ඩ නීති සංග්‍රහය
* අපරාධ නඩු විධාන සංග්‍රහය
* සාක්ෂි ආඥා පනත
* පරිගණක අපරාධ පනත
ආදියෙහි අඩංගු නීති ප්‍රතිපාදන සහ විධි විධාන මේ සදහා උපයෝගී කරගන්න
පුළුවන්. මීට අමතරව මා ඉහත සඳහන් කළ ආයතන වලට මේ ගැන දැනුවත් කරන්නට සහ
ළමයින්ගේ ජංගම දුරකථන භාවිතය පිළිබඳ දෙමාපියන්ගේ අවධානයත් යොමු වීමත් ඉතා
වැදගත්.
ඔව් ඇත්තෙන්ම ජනතාවගේ දැනුවත්භාවය මේ සම්බන්ධයෙන් පවතින දුර්වල මට්ටමක. ලංකාව තුළ ළමා අපයෝජනයට ප්‍රමාණවත් තරම් නීති සැකසී තිබුනත් ඒ පිළිබඳව වැඩිහිටියන් සැලකිලිමත් නැහැ . ඒ වගේමයි අද සමාජය තුළ මන් දකින දෙයක් තමයි, ගැහැණු ළමයෙක්ට හෝ පිරිමි ළමයෙකුට මෙවන් වරදක් සිදු වූවොත් විශේෂයෙන්ම ගැහැණු ළමයි ඒ ගැන කියන්න බය වෙනවා. ඔවුන් ඒ පිළිබඳව සඟවාගෙන ඉන්නවා. ඒ නිසා අවශ්‍ය අවස්ථාවේ ගත යුතු පියවර ගැනීමේ නොහැකියාවෙන් මා පෙර කියූ පරිදි සාක්ෂි විනාශ වීමක් සිදුවෙනවා. ඒ වගේම තමයි පවුල තුළ මේ ගැන දරුවාට දැනුවත් කිරීමක් ලබා දෙන්නේ නැහැ සහ දරුවෙකුට අකටයුත්තක් සිදු වූ විට දෙමව්පියන් සමාජයෙන්, පවුලට දරුවාට එල්ල වන බලපෑම් නිසා ඒ බව සඟවා ගන්නවා. එය ඔබ ඔබේ දරුවාට කරන ලොකු අසාධාරණයක්. අපට ප්‍රයෝගිකව මෙවන් සිදුවීම් අධ්‍යනය කරන විට පෙනුන කාරණාවක් වුනේ, වැඩි වශයෙන් දරුවෙකුට අකටයුත්තක් සිදු වී තිබුනේ තම පවුලේම අයෙකුගෙන්, නැදෑයෙකුගෙන් හෝ අසල්වැසියෙක්ගෙන් බවයි. ඒ නිසා දෙමාපියන් විදිහට ඔබේ මේ ගැන දැනුවත් වීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම තමයි පාසල ඇතුලෙ ළමයෙකුට කුඩා වයසේදීම මේ පිළිබඳව දැනුවත් කරන්න ඕන. මොකඳ ළමයා දන්නේ නැහැ ඔවුන්ට තියෙන අයිතිවාසිකම් ගැන. විදෙස් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනය සහ ළමයින්ට වෙන අකටයුතුකම් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රමාදි බවක් දක්නට ලැබෙනවා . ඒ නිසා ප්‍රජාව නිතීය පිළිබඳව දැනුවත් විය යුතුමයි. මා මුලින් සඳහන් කළ ආයතන වගේම 1929 ක්ෂණික දුරකථන අංකයත් ඔබට ඕනෑම මොහොතක විවෘතයි. අවශ්‍ය වුණු ඕනෑම අවස්ථාවක ඔබට ඔවුන්ව දැනුවත් කළ හැකියි. ඔවුන් දරුවන්ව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. දරුවන් රකින්නට නීතිය ශක්තිමත් අවශ්‍ය වන්නේ ප්‍රජාවේ මැදිහත්වීම පමණයි.
ළමයා සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනත් අධිකරණයක් පිහිටුවීමට යෝජනාවක් පසුගිය කාලේ ඉදිරිපත් වුණේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලු නිසාද?
ළමයා සම්බන්ධ නඩු විභාග කිරීමේ දී එයට අදාළව සැකසිය ඇති නීතිමය ප්‍රතිපාදන ඉතා ශක්තිමත්. නමුත් විවෘත අධිකරණයක් තුළ විභාගයට ගැනෙන්නේ ළමා අපරාධ සම්බන්ධයෙන් නඩු පමණක් නොවේ. ළමා අපචාර හෝ ළමයෙක්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයේ අපයෝජනයක් සම්බන්දයෙන් වන නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීම තුළ ලැබෙන ප්‍රථිපලය සුභදායකයි. ඒ නිසා ළමා අධිකරණයක් පිහිටුවිම අත්‍යවශ්‍ය කරුණක්. එකට හේතු කිහිපයක් තියෙනවා. ඒ තමයි,
*
ළමයට එරෙහිව සිදුවන අපරාධය සම්බන්ධයෙන් අවුරුදු ගාණක් එකම නඩුවක් විභාග වෙනකොට
යුක්තිය ලබා ගන්න දීර්ඝ කාලයක් බලා සිටීමට අවශ්‍ය නොවීම.
*
නඩු විභාග කඩිනම් කරොත් ළමයට සිදූ වූ අපරාධයක් සම්බන්දයෙන් සාක්ෂි මතක් කරමින්
සාක්ෂි ලබා දීමේ හැකියාවක් ලැබෙනවා.
මොකද කාලයත් සමඟ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමයාගේ මතකය වෙනස් වන නිසා සාක්ෂිමය
වටිනාකම නැති වීම ආරක්ෂා කරන්න එයට පුළුවන්.
*
විවෘත අධිකරණයක නඩු විභාග වීමේදී අධිකරණ ශාලාව තුළ තවත් පිරිසක් ඉන්න නිසා
ළමයාගේ අනන්‍යතාවය හෙළි වෙලා ළමයා අපහසුතාවයට පත් වීම වළක්වා ගැනීමට.
*
දිගු කාලීන නඩු විභාග තුළ ළමයාට සිදුවන මානසික පීඩනය අවම කර ගැනීමටත්
පුළුවන්.
මේ වෙන කොට බත්තරමුල්ලේ ළමා අධිකරණයක් ප්‍රාථමික මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා.
නමුත් මා හිතන විදිහට මෙය පළාත් මට්ටමේ හෝ දිස්ත්‍රික් මට්ටමෙන් දීප ව්‍යාප්තව
පිහිට වීම වැදගත්.
නීතිඥතුමියනි, ලංකාවේ නීතිය තුල ළමා අපයෝජන සම්බන්ධයෙන් ඇති යම් යම්
අක්‍රමිකතා වලට දිය හැකි නිර්දේෂයන් තියෙනවද?
මම මුලින් සඳහන් කල ආකාරයටම ළමා අපයෝජන වරදක් සම්බන්ධයෙන් ලංකාවේ ඇති නීතිමය පදනම ශක්තිමත් නමුත් ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු දකින්නට ලැබෙනවා. ඒ සඳහා අපට දිය හැකි නිර්දේශ විදිහට,
* ළමා අපචාර හෝ ළමයෙක්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයේ අපයෝජනයක් සම්බන්ධයෙන් වන නඩු ව්භාග කඩිනම් කිරීම.
* ළමා අධිකරණයක් දිස්ත්‍රික් මට්ටමින් හෝ පිහිටුවීම.
* වින්දිතයන් හා සාක්ෂිකරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම. එයට හේතුව තමයි
ප්‍රවාහන පහසුකම්, ආර්ථික අපහසුතා වැනි හේතූන් නිසා වින්දිතයන් සහ සාක්ෂිකරුවන්
අධිකරණයේ පෙනී සිටීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම
සාක්ෂිකරුවන් දිරිගැන්වීමක් ලෙස අරමුදලක් පිහිට වීම අවශ්‍යයි. මීට අමතරව
*
ළමයින්ට ඇති අයිතිවාසිකම් පිළිඹඳව ඔවුන් දැනුවත් කිරීම.
* ප්‍රජාව දැනුවත් කිරීම. ආදිය යෝජනා කරන්න පුළුවන්.
ළමා අපයෝජනය සම්බන්ධයෙන් ලංකාවේ ඇති නීතිමය පසුබිම් පිළිබඳව “සහෘදයා” තුළින් අපව දැනුවත් කල නීතිඥ සුජන්තිකා ආරියදාස මහත්මියට ස්තූතිවන්ත වෙමින් ඔබට මතක් කරන්නම් හෙට ලොව භාරගන්නට බලා සිටින දරුවාව, සුරැකීමේ සහ විනාශ කිරිමේ ආයුධය ඇත්තේ ඔබේ සුරතෙහිම බව අමතක නොකරන්න. මෙවන් ශක්තිමත් නීතියක් හමුවේ දරුවාගේ හෙට දවස පිළිබඳ සැනසිලිදායි බලාපොරොත්තුවක් තබා ගැනීමට ඔබට හැකිය. අවශ්‍ය වන්නේ වැඩිහිටියන් වශයෙන් ළමයින් වෙනුවෙන් ඔබේ සමාජ මෙහෙවර ඉටු කිරීම පමණි.
සංවාද සටහන - සාරදා මානවඩු.

0 Comments