ADD

"අධ්‍යක්ෂකවරයාගේ දැක්ම කියන දේ විශ්වවිද්‍යාල වලින් උපාධියක් අරගෙන හදාගන්න බැහැ" (කෙටි චිත්‍රපට අධ්‍යක්ෂක, නවක රංගන ශිල්පී දිදුල ඉදුවර)

කාලාව හුදෙකලා වු කලි විකල නොවන්නේ කවර නම් සමාජයක්ද, එහෙයින් එවන් සමාජයක් ඇති නොවීමට කලාව හුදෙකලා නොකරන වර්තමාන තාරුණ්‍යයේ සොදුරු කලාකරුවෙක්ට වර්ණ කතාබහට අපි ආරාධනා කරා. අද ඔබ හමුවන සහෘදයා නමින් දිදුල ඉදුවර. මේ ඔහු සමග ක සංවාද සටහනකි.



දිදුල ඉතින් කොහොමද මේ දවස්වල?

මේ දවස්වල නම් හොඳින් ඉන්නවා. කාලෙකට පස්සේ ආපහු රංගන කටයුතු ආරම්භ කරා. ඒ වැඩකටයුතුත් එක්ක මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන ඉන්නවා.

ඔයා ගැන අපිට කිව්වොත්. 

මම දිදුල ඉදුවර. මට වයස අවුරුදු විසි දෙකයි. මන් ඉන්නේ ඉංගිරියේ. මගේ පාසල හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය. මේ වෙනකොට මම කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සිනමාව සම්බන්ධයෙන් විශේෂවේදී උපාධිය හදාරණවා.

දිදුල මුල් වරට රංගන ශිල්පියෙක් බවට පත්වෙන්නේ පාසල් වේදිකාවෙන්. එවගේම ඔබ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සම්මානලාභී රංගන ශිල්පියෙක්. මේ අතීතය මතක් කරොත්.

ඔව් මගේ රංගන කටයුතු ආරම්භ වෙන්නේ පාසල් වේදිකාවෙන්. ඒක එක්තරා අහඹු සිදුවීමකින් උන දෙයක්. මම 6 වසරේ ඉගනගන්න කාලේ දවසක් අපේ පාසලේ සාහිත්‍යය සමිතියේදී දක්ෂතාවයන් තියෙනවා අයට ඇවිල්ලා පොඩි ක්ෂණික නිරූපණය කරන්න කියනවා. මට පොඩි කාලේ ඉඳලම ලැජ්ජාව එහෙමත් නැත්තම් සබකෝලය කියන දෙය තිබුනේ නැහැ. ඒ නිසා මං ගිහිල්ලා හමුදා නිලධාරියෙක් සම්බන්ධ පොඩි විහිළු චරිතයක් රඟපානවා. මේක දැකලා අපේ පාසලේ නාට්‍ය ගුරුතුමා, ගමගේ පුබුදු සුභාෂණ කුරුගුල සර් පාසල් නාට්‍ය කටයුතු වලට මාව සම්බන්ධ කරගන්නවා. එතනින් තමයි රංගනය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්, රංගනය තමයි මං කරන්න ඕනේ සහ මට කරන්න පුළුවන් දේ කියලා මට තේරෙන්න පටන්ගන්නේ. එතනින් පස්සේ මං ප්‍රථම වතාවට 2011 වසරේ චූටි බබා ලොකු ළමයෙක් නාට්‍යයේ සුළු චරිතයක් වෙනුවෙන් රාජ්‍ය ළමා  නාට්‍ය උළෙලේ සීමිත අංශයෙන් රංගනය සඳහා විශිෂ්ට කුසලතාවයක් ලබා ගන්නවා. ඉන්පස්සෙ 2012 වසරේ මමයි මමයි හරි යාළුයි නාට්‍යයේ විහඟ කියන ප්‍රධාන චරිතය වෙනුවෙන් රාජය ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නවා. ඒ වසරේම ඉංග්‍රීසි අංශයෙන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ Lazy One නාට්‍යයේ රංගනය වෙනුවෙන් විශිෂ්ට රංගන කුසලතාවයක් මට ලැබෙනවා. 2012 වසරේ පාසල් නාට්‍ය උළෙලේ හොඳම නළුවා සහ හොඳම සහාය නළුවාට හිමි සම්මාන දෙකම මම ලබා ගන්නවා. 2013 වසරේ පාට තුනයි එකම මලයි නාට්‍යයේ රංගනයට දායක වෙනවා. නැවතත් 2017 වසරේ රාජ්‍ය ළමා  නාට්‍යය උළෙල විවෘත අංශයේ හොඳම රංග වින්‍යාසයට මං සම්මාන ලබා ගන්නවා. ඉතිං ආ...... ඔය විදියට තමයි මං පාසල් වේදිකාවෙන් රංගන ශිල්පියෙක් බවට පත්වෙන්නේ.

වේදිකාවේ දක්ෂයකු වූ ඔබ පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඇත්තටම මම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ 2012 වසරේ. ඒ අවස්ථාව මට ලැබෙන්නේ 2012 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක. අපේ පාසලේ නාට්‍ය ගුරුතුමා, ග⁣මගේ පුබුදු සුභාෂණ කුරුගුල සර්ගේ මාර්ගයෙන් තමයි මම මුල්ම ටෙලි නාට්‍ය තිර පරීක්ෂණයකට යන්නේ. එතනදි සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂකවරයාගේ සදසාවි ටෙලි නාට්‍යයේ පවර ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂවරයාගේ නිර්භීතයි අපි ටෙලිනාට්‍යයටත්, සමන් කුමාර ලියනගේ මහතාගේම අධ්‍යක්ෂණයක් වු පිත්තල කොණ්ඩෑරුම ටෙලි නාට්‍යයට සහ සුරංග සතරසිංහ අධ්‍යක්ෂවරයාගේ නාටක මාරයි නවය හමාරයි ටෙලිනාට්‍යයටත් මන් සම්බන්ධ වෙනවා.

වේදිකාවේත්, පුංචි තිරයේත් රංගන ශිල්පියෙකු ඔබ අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ඨ වෙන්නෙ කොහොමද?

අධ්‍යක්ෂණය කියන තැනට නැත්නම් අධ්‍යක්ෂණයට මං ප්‍රවිෂ්ඨ වෙන්නේ පාසල් වේදිකාවෙන්මයි. ඒ මන්  රංගන කටයුතු හදාරගෙන යනකොට දවසක් අපේ නාට්‍ය ගුරුතුමා මට කතාකරලා එතුමාගේ නාට්‍ය පිටපතක් භාර දෙනවා "දිදුල ඔයා මේක අධ්‍යක්ෂණය කරන්න" කියලා. ඉතිං සර්ගේ පිටපතට මගේ පළමු වේදිකා නාට්‍ය  අධ්‍යක්ෂණය  වැට අද්දර වේදිකාව නමින් වේදිකාගත වෙනවා. මේ  වෙනුවෙන්  2017 වසරේ රාජ්‍ය  ළමා නාට්‍ය උලෙළේ හොඳම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය මට දිනාගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි මගේ අධ්‍යක්ෂණ කටයුතු ආරම්භ වෙන්නේ.

ඔබේ පළමු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය ජාත්‍යන්තරය නියෝජනය කරනවා. අපි ඒ ගැන කතා කළොත් 

ඔව් මගේ පලවෙනි වේදිකා නාට්‍ය  අධ්‍යක්ෂණ වුන වැට අද්දර වේදිකාව නාට්‍ය  2017 Colombo International Theater Festival එකේදී ලංකාව නියෝජනය කලා. ඒකට ජපානය, ජර්මනිය, බෙලරූස්, ස්වීඩන්, ඉන්දියාව, නේපාලය වගේ රටවල් වල නාට්‍ය ඉදිරිපත් කරලා තිබුනා සහ ඒවායේ නාට්‍යකරුවොත් ඇවිල්ලා හිටියා.

      

පාසල් වේදිකාවෙන් අධ්‍යක්ෂණය කටයුතු  ආරම්භ කරන ඔබව අපිට මුණගැහෙන්නේ සිනමා නිර්මාණ    කරුවෙක් විදිහට. මේ ගමන ආරම්භය වෙන්නේ කොහොමද? 

මම සිනමා නිර්මාණ කරුවෙක් විදියට බිහි වෙන්නේ ප්‍රධාන වශයෙන් සිනමා රංගනයට ඇතිවුණු කැමැත්ත නිසයි. පාසල් යන කාලේ හතේ අටේ පන්ති වල ඉද්දි තමයි මට මුලින්ම සිනමාවට කැමැත්තක් ඇති වෙන්නේ. ඒත් එක්කම මට හිතුනා මේක...... මේක හදන්න ඕනේ ඒ කියන්නේ Film හදන්න ඕනේ කියලා. ඒ නිසා මං පොඩි කාලේ ඉඳලම Phone එකෙන් එක එක විදිහේ චූටි චූටි videos හදන්න පටන් ගන්නවා. එහෙම කරගෙන යනකොට එක තැනකදි මට හිතෙනවා මගේම කියලා short film එකක් හදන්න ඕනේයි කියලා. එදා ඉදලා මං ගොඩාක් උත්සාහ කරා. ඒ වගේම ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වෙනවා. හැබැයි මම අත අරින්නේ නැහැ. මොකද අසාර්ථක වෙමින් නේ මනුස්සයෙක් සාර්ථක වෙන්නේ. ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට 2021 මන් මගේ පළවෙනි Short Film එක හදනවා. ඒ විදියට තමයි මගේ සිනමා ගමන පටන් ගන්නේ.

ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණයම සම්මානලාභී නිර්මාණයක් වෙනවා මේ ගැන මතක් කරොත්.

මම මුලින් කිව්වා වගේ Phone එකෙන් පොඩි පොඩි Videos කෑලි කරමින් ඒවා එළියට දෙන්නේ නැතුව මන් ලග විතරක් තියාගෙන ඉද්දි මට හිතුනා එළියට වැඩක් කරන්න, අපි කියන්නේ එළියට බහිනවා කියලා. ඉතිං සමාජයට වැඩක් කරන්න ඕනකම නිසාම මේ අවුරුද්දේ Money Of a Life කියන මගේ පළවෙනි short film එක හදනවා. මේ නිර්මාණය ගැන කතා කරොත්, මේ කතාවේ plot එක සත්‍ය කතාවක් පාදක කරගෙන හැදුනු එකක්. ඒක මට දෙන්න අපේ නාට්‍ය සර්. ඊට පස්සේ පස්සේ ඒ plot එක අරගෙන මං script එකක් ලියනවා. ඔහොම මන් ලියපු script එක තියාගෙන ඉන්නකොට දවසක් නාඩගංකාරයෝ ටෙලිනාට්‍යයේ රත්නාගේ චරිතය නිරූපණය කරමින් අද වෙනකොට ගොඩාක් ජනප්‍රිය වෙලා ඉන්න ශාරද් චන්දුම මල්ලි මගෙන් අහනවා "අයියා අපි දෙන්න එකතු වෙලා  මොකක් හරි වැඩක් කරමු ද" කියල. ඒ වෙනකොට මං ලියපු script එක තිබුන නිසා මං කිව්වා "මල්ලි මෙහෙම වැඩක් තියෙන අපි මේක පටන් ගමුද" කියලා. ඊට පස්සේ අපි දෙන්න කතා කරලා Location Select කරගෙන නළුවොත් තෝරලා හොරණින් කොළඹ කොටුවට ඇවිත් කෝච්චියේ නුවරට ගිහිල්ලා අපේ ෆිල්ම් එක දවස් දෙකකින් රූගත කරලා අවසන් කරනවා. මේ වැඩේ අපි හොඳට සැලසුම් කරලා කරපු වැඩක් වගේම අපිට මේකෙන් ලොකු අත්දැකීමක් ලැබුණා. ඇත්තටම කිව්වොත් මේක අපි හතර දෙනෙක්ගේ වැඩක්. අධ්‍යක්ෂවරයා වුනේ මම. නිෂ්පාදකවරයා ශාරද් මල්ලි. කැමරාකරණය හෙෂාර ඕෂා සහ මගෙත් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පයා මගේ මිත්‍රයා දුලාජ් චාමර. ඉතින්  මගේ පළවෙනි සිනමා නිර්මාණය Money Of a Life කෙටි චිත්‍රපටිය  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්තපු මධ්‍යම පළාත් කෙටි චිත්‍රපට  තරගාවලියට යොමුකරනවා. ඒකෙදි හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය, හොඳම තිර පිටපතට හිමි සම්මානය, හොදම නිෂ්පාදනයට හිමි සම්මාන, හොඳම නළුවාට හිමි සම්මානය සහ මධ්‍යම පළාත් හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය කියන සම්මාන 5 ම දිනා ගන්න අපට හැකියාවක් ලැබෙනවා. මේ අතරින් හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර පිටපත් රචනයට සහ රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් මට දිනා ගන්න පුළුවන් වෙනවා.

මේ වසරේම ඔබ අධ්‍යක්ෂණය කල තවත් සිනමා නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයන්ට දකින ලැබුණා. ඒ ගැන කතා කළොත්. 

ඔව් මම මේ අවුරුද්දේ Short Films 03ක් කරා. පළවෙනි නිර්මාණය Money Of a Life කෙටි චිත්‍රපටිය. දෙවන සිනමා අධ්‍යක්ෂණය The Self Vaccine හෙවත් ස්වයං එන්නත කියන කෙටි චිත්‍රපටය, තුන්වෙනි Short Film එක Tikටොක් ඒක Mobile Short Film එකක්. ඉතිං ආ... The Self Vaccine හෙවත් ස්වයං එන්නත කියන කෙටි චිත්‍රපටය ගැන කිව්වොත් මේක අපේ campus එකේ මාත් එක්ක සිනමාව හදාරණ විද්‍යාර්ථයන්ගෙ එකතුවෙන් උන නිර්මාණයක්. මට හිතුනා අළුත් වැඩක් කරන්න ඕන කියලා. එතකොට කොරොනා ඇවිල්ල රටම lockdown කරලා campus වහල තිබුනේ.  Campus එකේ Frist Year එක විදිහට නිකං ඉඳලා වැඩක් නැහැ. අපි වැඩක් කරන්න ඕනෙයි කියන දේ අපි හැමෝම ලග තිබුන නිසා ඒ ගැම්මෙන්ම අපි වැඩේ පටන් ගත්තා. අපිට තිබුන අදහස් එකතු කරගෙන අපි කට්ටියම සාකච්ඡා කරලා අන්තිමට අපි කට්ටිය එකතු වෙලා කොරොන වසංගතේ මුල් කරගෙන තමයි මෙි කෙටි චිත්‍රපට නිර්මාණය කරේ. මෑතකදී මගේ Tikටොක් කියන තුන්වෙනි Short Film එකේ  සියළු වැඩකටයුතු අවසන් කරා. ඒක Mobile Short Film එකක්. මේක නව තාක්ෂණයත් එක්ක යොවුන් වියේ ස්වාමින්වහන්සේ කෙනෙකුට ඇතිවෙන ආශාවන් වටා ගෙතුනු කතාවක්. ඉතිං ඉදිරියේදී එකත් ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන්. 


වේදිකාවේත් පුංචි තිරයේත් නළුවෙක් වු ඔබ සිනමා අධ්‍යක්ෂණය තෝරගන්නේ ඇයි?

සිනමා අධ්‍යක්ෂණය තෝර ගන්න හේතුව තමයි, මම පොඩි කාලේ ඉඳලම සිනමා රංගනයට ආදරේ කරපු එක. එතකොට මට ඕන උනා මං ඉස්සෙල්ලා කිව්ව වගේ කිව්වා වගේ මේක හදන්න ඒ කියන්නේ Film එකක් හදන්න. ඇත්තටම සමස්ත නිර්මාණ ක්‍රියාවලියේ ම ප්‍රධානියා අධ්‍යක්ෂවරයානේ (සිනාසෙමින්) එතකොට මං කල්පනා කරා මෙතැනට ගියොත් තමයි මට වැඩ ටික අඳුර ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කියන්නේ අධ්‍යක්ෂණයට ගියොත් කැමරාකරණය පිළිබඳ අවබෝධයක්, නළු නිළියන් හසුරවන ආකාරය පිළිබඳ අවබෝධයක්, කලා අධ්‍යක්ෂණය සම්බන්ධ අවබෝධයක් කියන මේ හැම පැත්තක්ම මට අඳුනගන්න සහ අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේ සමස්ත වපසරිය ගැනම දැනුමක් තියෙන පුද්ගලයෙක් තමයි අධ්‍යක්ෂවරයා කියන්නේ. එතකොට අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට මං සම්බන්ධ වුණොත් මට සිනමාව කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් ප්‍රායෝගිකව ලබා ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා. ඒ මතයත් එක්ක තමයි මන් අධ්‍යක්ෂණයට යොමු වෙන්නේ. 

නවකයන්ට මේ ක්ෂෙත්‍රයට  පිවිසෙන්න තියෙන ප්‍රධානතම ගැටලුව වෙන්නේ නිෂ්පාදන වියදම කියන කාරණය. ඒ නිසා තමයි ගොඩක් නිර්මාණ එළියට එන්නේ නැත්තේ. මං කියන්නේ තරුණයන්ගේ නිර්මාණ වලට ඉඩක් දෙන්න ඕනේ. එවගේම තමයි මේ වියදම කියන එකේම රැඳෙන්නේ නැතුව අපිත් දැනගන්න ඕනේ ශ්‍රමය හුවමාරු කරගෙන නිර්මාණකරණයේ යෙදෙන්න.     

සිනමාව සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් හදාරන විද්‍යාර්ථයෙක් විදිහට ඔබ සිනමාව සම්බන්ධත් යොමු වෙලා ඉන්නවා සහ ඔබ සිනමා අධ්‍යක්ෂණයටත් යොමු වෙලා ඉන්නවා. ඉතින් මේ ඉගෙනීම පමණක් සිනමා අධ්‍යක්ෂණයට ප්‍රමාණවත්ද?

සිනමාව කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ කලාව නේ. මං දකින විදිහට සිනමා නිර්මාණයක් තුළ තියෙන්නෙ අධ්‍යක්ෂවරයාගේ දැක්ම. විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ ප්‍රායෝගිකව Film එකක් හදන්නේ කොහොමද කියන එක අපිට කියලා දෙනවා. නමුත් අධ්‍යක්ෂකවරයාගේ දැක්ම කියන දේ  විශ්වවිද්‍යාල වලින් උපාධියක් අරගෙන හදාගන්න බැහැ. දැක්ම හදාගන්න ඕන අපිමයි. ඒ අපි ජීවත්වන සමාජ වටපිටාව එක්ක ගැටිලා අපි එකතු කරගන්න අත්දැකීම් සම්භාරයක් එක්ක. මේ දැක්ම හදා ගත්තට පස්සේ ඒ ඔස්සේ තමයි අපි අපේ සිනමා නිර්මාණය මෙහෙය වන්නේ. ඉතින් vision එක හදාගන්න ඕනේ අපිමයි. ඒක අපේ අතේ තියෙන වැඩක්. 

අධ්‍යක්ෂකවරයෙක්, පිටපත් රචකයෙක් හා රංගන ශිල්පියෙක් යන භූමිකා ත්‍රිත්වයෙන්ම දක්ෂතා දක්වා ඇති ඔබ මේ තුනෙන් වඩාත්ම ප්‍රිය කරන්නේ කුමකටද?

මම වඩාත්ම ප්‍රිය කරන රංගනයට. මම රංගනයට තමයි ආස. ඒක තමයි මගේ හීනය මගේ හීනේ. ආ..... එකත් එක්ක තමයි ඉන්නේ.

අංකුර නිර්මාණකරුවෙක් විදියට ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ සිනමා කර්මාන්තයේ ගත්තහම මගේ අදහස වෙන්නේ වර්තමානය වෙනකොට සිනමා කර්මාන්තයට පිවිසෙන ඕනේ නවකයන්  කියන එකයි. ඇත්තෙන්ම  නවකයන්ට මේ ක්ෂෙත්‍රයට  පිවිසෙන්න තියෙන ප්‍රධානතම ගැටලුව වෙන්නේ නිෂ්පාදන වියදම කියන කාරණය. ඒ නිසා තමයි ගොඩක් නිර්මාණ එළියට එන්නේ නැත්තේ. මං කියන්නේ තරුණයන්ගේ නිර්මාණ වලට ඉඩක් දෙන්න ඕනේ. එවගේම තමයි මේ වියදම කියන ‍එකේම රැඳෙන්නේ නැතුව අපිත් දැනගන්න ඕනේ ශ්‍රමය හුවමාරු කරගෙන නිර්මාණකරණයේ යෙදෙන්න. මේ කාරණය මං දැකලා තියෙනවා YouTube Series වල. එතන මුදල් නෙමෙයි වැඩිපුරම තියෙන්නේ එක් එක් කෙනාගේ ශ්‍රමය. ශ්‍රමය එකතු කරලා වෙනම වැඩක් කරනවා. අන්න එහෙම වැඩක් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. මොකද කර්මාන්තයක් විදියට ලංකාවෙ සිනමාව නැතිකොට අපේ අනාගත සිනමාකරුවා ආරක්ෂා කරගන්න ඒ වගේ වැඩපිළිවෙලකට යන්න වෙනවා. මං කියන්නේ අලුත් අය තමයි එන්න ඕන. තරුණයන්ට ඉඩ දිය යුතුයි එවගේම ඔවුන්ට අත දිය යුතුයි කියන එකයි මගේ මතය.                

වර්ථමාන කොවිඩ් වසංගතයත් එක්ක වෘත්තීය රංගන ශිල්පියක් වීම ගැටළුකාරී අවස්ථාවක ඔබ රංගන තෝරා ගැනීම ඔබේ දෙමව්පියන්යන් භාර ගත්තේ කොහොමද? සහ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

මෙහෙමයි අපේ රටේ රංගන ශිල්පියෙක්ට පැවැත්මක් නැහැයි කියන්න බැහැ. මොකද නමක් හදාගත්ත රංගන ශිල්පියෙක් තමන්ගේ වෘත්තිය එක්ක ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මේකෙ රැඳී සිටීම සහ කොච්චර කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්ද කියන එක මත තමයි ඒ රංගන ශිල්පියාගේ හෝ රංගන ශිල්පිනියගේ ජනප්‍රියත්වය පවතින්නේ හෝ අඩුවෙන්නේ. මේකට රංගන ශිල්පියෙක් ගේ දක්ෂතාවයත් බලපානවා. ඒ වගේම තමයි රංගන ක්ෂේත්‍රය ගැන පොදු සමාජයේ තියෙන මතය තමයි රඟපාලා ජීවත් වෙන්න බැහැ කියන එක. මොකද කාලෙකදි වැඩ ලැබුණොත් හොඳ වෙන සහ නොලැබුණොත් නැතිවෙන ක්ෂේත්‍රයක් නිසා. ඇත්තටම අපිට යම් කිසි අවදානමක් තියෙනවා. සිනමාව කර්මාන්තයක් විදියට නැති නිසා අවදානමක් අරගෙන කරනවට වඩා මං හිතෙන දේ තමයි යම් වෘත්තියක නියැලෙමින් අපිට මේක ඒක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියන එක. එතකොට අපිට බය නැතුව විශ්වාසයකින් (සිනාසෙමින්) අපි ආස දේ කරන්න පුළුවන්. මොකද ජොබ් එකකට කොටුවෙලා ඉන්නවට වඩා මේක හරි නිදහස්. ඉතං එහෙම හිර නොවුන රැකියාවක් එක්ක මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. දෙමව්පියන්ගෙ පැත්තෙන් ගත්තොත් ඒ පැත්තෙ තියෙන්නෙත් ඒ චෝදනාව ම තමයි. ඒගොල්ලො කැමති නැහැ මෙහෙම්මම ඒ කියන්නේ කලාව වෘත්තිය කර ගන්නවට. ඒගොල්ලො භාර ගත්තේ අපේ සමාජයේ තියන පොදු මතේම තමයි. හැබැයි මං කරන නිර්මාණ වලට සහ මගේ රංගන කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා තමයි හැමදේකටම උදව් කරන්නේ ඒ නිසා තමයි මන් මේ සියලු වැඩ සාර්ථක කරගන්නේ.

දිදුල ඉදිරි වැඩ කටයුතු මොනවාද? 

ඉදිරි වැඩ කටයුතු ගත්තහම මම අවුරුදු 6කට පස්සේ නැවතත් පුංචි තිරයට සම්බන්ධ වෙනවා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අලුත්ම ටෙලි නාට්‍යයක. මේ වෙනකොට මූලික වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා තවම විකාශනය ආරම්භ වුණේ නැහැ. ආ මෑතකදී කෙටි චිත්‍රපටයකට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඒ නිර්මාණ එන්න තියෙනවා. මගේම කෙටි චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරන්න තියෙනවා. ඒ වගේම මේ දවස් වල මම දිගු චිත්‍රපටයක් ලියාගෙන යනවා. ඒ තමයි මගේ අළුත්ම වැඩ. 

අසාර්ථක වීම් හමුවේ අත්නොහැර සාර්ථකත්වය සොයා යන තාරුණ්‍යයේ අංකුර නිර්මාණකරුවෙකු  ලෙස කලාව පෝෂණය කිරීමට ඔබ දරණ වෑයම සාර්ථක වේවායි සහෘදයා” අපි ඔබට ප්‍රාර්ථනා කරනවා.

අපි හා එක්වු පාඨක ඔබගේ රසවින්දනයට දිදුල කල නිර්මාණ පහතින් එක්කොට ඇත.


                                                                                            සංවාද සටහන සාරදා මානවඩු.

Post a Comment

0 Comments