ADD

Bus සිංදු

 Bus සිංදු

ටිකක් දුර ගමනක් බස් එකක ගියා. වෙනදනම් බස් එකේ දාලා තියෙන්නේ සංගීත සංදර්ශන නැත්තං හෙන ආදර සිංදුවකට, බූට් සිංදුවකට සිංහයෙක් මුවෙක් මරාගෙන කන වීඩියෝ වගේ ආතල් තමා. හැබැයි අද වෙනස්. driver අයියා අලුත් නිසාද කොහෙද එයා එයාගේ playlist එකක් දාලා. මොනා උනත් මිනිහා පත බූට් එකක් කාපු එකෙක් ද කොහෙද බූට් සින්දු විතරයි තිබ්බේ. එයා කියල මොනා කරන්නද ලංකාවේ වැඩිහරියක් තියෙන්නෙ ඒ සින්දුනේ හැබැයි Face Book පැත්තෙ ගිහින් බැලුවා නම් තාම අම්මලාගේ සූටි කෙල්ලෝ, කොල්ලෝ අතකින් වත් අල්ලපු නැති අය. මොනා උනත් සිංදු ලස්සනයි. slow motion, වේගරිද්ම, රැප් කීපයකුත් තිබ්බා. ගොඩක් ඒවා මුල් ගායක ගායිකාවන්ගෙ නෙවේ. ඔක්කොම වගේ covers. ඒ අතරිනුත් ගොඩක් covers  මියුරුගේ. මං හිතන්නේ අයියා මියුරුගේ ෆෑන් කෙනෙක්. සමහරවිට කොන්දයියගෙ වෙන්නත් බැරි නෑ. කොහොම වුණත් විෂුවල් නැති සින්දු..... බස් එකේ ජනේලෙට බර වෙලා ජනේලෙන් එළියෙ ලෝකයයි, බස් එක ඇතුලෙ ලෝකයයි එකතු කරලා අපි අපේම විෂුවල් ටිකක් හදාගෙන යන එකත් පට්ට ආතල්. කොරෝනා සීසන් නිසා බස් එකේ වැඩිය සෙනග නෑ. ඒකත් හොඳයි. එතකොට නිවි සැනසිල්ලේ විෂුවල් වලින් දෙන්නැති තේරුමක් සින්දුවකට පරිකල්පනයෙන් දෙන්න පුළුවන්. ඇස් පියාගෙන සින්දු අහන්න කියන්නෙ ඒ නිසා වෙන්න ඇති. කොහොම උනත් මම බස් එකේදි අහපු සින්දු වල තැන් තැන් වල මගේ හිත නැවතුනු ප්‍රශ්න කරපු තැන් ටිකක් තිබ්බා. බස් එක යන කල් කරන්න දෙයක් තියෙන්නත් එපැයි ඉතින්.


ඉතිං ඇහුන සිංදු අතරේ මගේ හිත නැවතුනු ප්‍රශ්න කරපු තැන් ටික මන් මෙහෙම ලියන්නම්කෝ. මේ කතාව පටන් ගන්නේ මෙහෙමයි
, 

ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා

ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා

රහසේම කවුදෝ ඉක්මන් වෙලා

හඬවාල මගේ දෑස ඔබ ගෙන ගියා.....                                 

ගොඩක් අයගේ තියෙන දෙයක් තමයි කොච්චර ආදරෙයිද කියලා කියන්න නැතිකම. හිතේ තියාගෙන දුක් විඳිනවා. සමහරු දන්නෙවත් නෑ දෙන්න දෙන්නට ආදරේ කරනවා කියලා. ඔහේ දුක් වේවි ජීවත් වෙනවා .ඉතින්..... බලාගෙන ඉන්න බැරිම තැන අහන එකෙක් එක්ක සෙට් වෙනවා. මම නම් කියන්නේ දෙකෙන් එකක් වෙන්න අහන්න ඕනේ. එක්කො "බෑ" කියයි නැත්තන් "හා" කියයි ඊට පස්සේ දේට මුහුණ දෙන එක ටිකක් අමාරුයි තමයි. ඒකට ටිකක් මුට්ටිය දාලා බලල ඇහුවා නම් ඉවරයිනේ. වැඩිම වුනොත් තරහා වෙයි ගුටියක් කන්න වෙයිද දන්නෙත් නෑ ඉතිම් කියන්න බෑනෙ. මොනාටත් කලින් තමන්ට කියලා ස්ථාවරයක් හදා ගන්න ඕනේ. මෙතන පිං බත් ගිල ගිල ඉස්කෝලේ යන කාලේ ලව් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. තමන්ගේම තමන්ටම තැනක් හදාගෙන ඊට පස්සේ පරස්තාව බලන්න. දැන් කාලෙ කොල්ලන්ට වඩා කෙල්ලො ෆෝවර්ඩ්. උන් තමා අහන්නෙ ඉස්සෙල්ලම. ඒකේ පොඩ්ඩක් විතර පොඩි අවුලක් වගේ පෙනුනට ඒක නරකමත් නැ. දෙන්නගෙන් කෙනෙක් අඩියක් ඉස්සරහට තියන්න එපැයි හා නැද්දෙ?

අප හමුනොවුනා නම්  

මේ තරම් දුකින් නොඉන්න තිබුණා

කදුලු නැතිව හිනාවෙලා ඉදින්න තිබුණා.....

 කොහේ කොතනක ඉන්නවාද මට මැව් කෙනා, අනේ මගේ කෙනා දැන් මොනවද කරන්නේ දන්නෑ, පරිස්සමින් ඉන්න සුදු අම්මියෝ, බෙහෙත් එක විද ගන්න සුදූ තාත්තියෝ වගේ FB එක පුරාවට ඇහැට හුරු post පස්සේ හම්බුනාම කියනවා අපි හමුනොවුනානම් ලූ. අනේ මන්දා කාට කියන්නද කියලා.

                        
                            හැංගිලා ඇස් කොනේ..... වේදනා යට...
                            ඉන්න බෑ ආයේ නම්..... කදුළු එක්කොට
                            මේ තරම් කාරණා එක් වුනත් කදුළට 
                            හඬන්නට තහනම් පිරිමි හිතකට....

 ඇයි ඇයි ඒ ඇයි පිරිමියෙක්ට අඬන්න තහනම්. පොඩි කාලෙම ඕක අම්මලා ළමයිගේ ඔලුවට දාන දෙයක්. ඔයා කොල්ලෙක්නෙ ආපෝ මෙහෙම අඬනවද? කොල්ලො අඬන්නෑ කෙල්ලොනේ අඬන්නෙ. ඇයි කොල්ලො කඳුළු ස්‍රාවී ග්‍රන්ථි හරි මොනාහරි දේවල් අඩුවෙන්ද ඉපදෙන්නේ. කොල්ලන්ට අඩන්න වගේම කෙල්ලන්ට හිනාවෙන්නත් තහනම්. කෙල්ලෙක් නේද හිනාවෙන්නෙ කොහොමද. අනේ මන්ද දෙමව්පියෝ පොඩි ලමයිගේ හිත් වලට දාන දේවල්.කොල්ලෙක් උනාම කෑගහලා අඬන්න කෙල්ලෙක් උනාම කෑගහලා හිනා වෙන්නයි පුළුවන් වෙන්න ඕනෙ.ඒක මානව අයිතිවාසිකමක්.ඒව හිරකරන් හිටියම පීඩනය වැඩි වෙනවා. මිනිස්සු ඒ පීඩන තමයි හිටපු ගමන් බෝම්බ වගේ පුපුරලා දාන්නෙ පත්තර වල හෙඩ් ලයින් එකට වැටෙන්නම.ඔයාලගේ ළමයි ටත් උගන්වන්න අඬන්න ඕන වෙලාවට අඬන්න හිනා වෙන්න ඕනේ වෙලාට හිනා වෙන්න රොබෝලා වගේ අය අනාගතයට දෙන්නේ නැතුව..






හිතුවෙවත් නැති දවසක

හිතන් නැතුවම ළංවුනා

අතීතයේ දුර ඈතක

ආදරේ මග වැරදුණා....

 මේ සින්දුවේ විදිහටනම් එයාලා ආපහු හමුවෙලා වගේ නේ. ඒත් ඔය වගේ හිතේවත් නැති වෙලාවල් වල හිතන්නෙ නැතුවම හම්බුන මිනිස්සු නිසා කී දෙනෙක් අද දුක් වෙනවා ඇත්ද, කීයක් නූපන් ජීවිත, උපන් ජීවිත කුණු ගොඩවල් වල අනාථ නිවාස වල ඇත්ද. හිතලා තීරණය කරන්න, පසුතැවීමක් නැති වෙන්නම.

ලස්සන හිතක් නැති

ලස්සන රුවක් ඇති

ඔබට මං ආදරේ කෙරුවෙ

අපරාදේ මේ හැටි...

 ඇයි වදේ FB එකවුන්ට් එකක් නැද්ද අප්පා😤. මෙච්චර හැමදාම වගේ තියෙනවා පෙනුම නෙමේ හදවත බලන්න. රූපය නැති වෙනවා ඒක නිසා තීරණයට රූපය අදාළ කරගන්න එපා. කඩවසම් පිරිමියෙක් නෙමේ ගුණවත් ස්වාමියෙක් හොයාගන්න. ලස්සන කෙල්ලෙක් නෙවෙයි පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක් හොයාගන්න.(අපේ අම්මත් නිතරම ඒ වගේ කතා කියනවා ඇයි ලස්සන අය පාවි පාවි ද ඉන්නෙ 🙄) ඔය වගේ එක එක ඒවා daliy share වෙනවා නේ. මොනා උනත් අපි අපිට කෙනෙක් තෝරගන්නවනම් අනිවාර්යෙන්ම එයා කොහොම කෙනෙක්ද, මොනාද කරන්නේ,ජොබ් එකත් තියෙනවද, පිට අය ඉස්සරහ හැසිරීම, අනිත් අයට ගෞරව කරන විදිය, කතා කරන විදිය, චරිතෙ, අතීතය වගේ හැමදේම බලන්න ඕනේ. පෙනුමත් බලන්න ඊට වඩා ගතිගුණ වලට මුල්තැන දෙන්න. මේක ෆැන්ටසියක් නෙමේ සල්ලි ඕන්නෑ ගතිගුණ හොඳ වුනා ඇති කියන පස්සේ අතේ සල්ලි නෑ කියලා දැනගත්තම හොඳ ගති ගුණත් නුගුණ වෙනවා....

        


ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා

හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා

ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා මාගෙ සිනහ පාවුනා ඈත ගියදා එදා

මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා...

ගොඩක් දෙනෙක් ජීවිතේ කරන එක වැරැද්දක් තමයි සංසන්දනය කරන එක. පරණ එයාට වඩා දැන් ඉන්න එයා කොච්චර හොඳද, දැන් කෙනාට වඩා පරණ කෙනා දාහෙන් සම්පතක්, මගේ හිත ආයේ එයාට බැඳිලා, ඊට පස්සේ දැන් ඉන්න කෙනාගේ වැරදිමයි පේන්නේ ඉතින් රණ්ඩු. බත් මුට්ටි උඩින් යනවා, එක්කෝ massage, call block. පයින් ගැහුවට පස්සේ ඒක තිරුවානා ගලක් වුණත් මැණික් ගලක් වුණත් අත ඇරලා දාන්න ඕනේ. හිත හිත දුක් වෙන්නේ නැතුව. පස්සේ හම්බවෙන එක දියමන්තියක් වුණත් අපිට වටිනාකමක් නෑ අපිට අර මැණික ගැන හිතෙනකොට. එකෙන් පස්සෙ අහුලගන්න එක තිරුවානා ගලක් හෝ කළුගලක් වේවා ඒත් දුක් වෙනවා. ඇයි තිරුවානා ගලක් වුණත් ඔප දාන්න බැරි. ඔය ප්ලාස්ටික් කෑලි වීදුරු කෑලි ඔප දාලා මැණික් වගේ හදන්නේ. මම ඒ වගේ වීඩියෝ දැකලා තියනවා. කළු ගලක් උනත් මොකෝ වටිනවනේ කවදාවත් දියමන්ති දාලා බිත්ති බඳින්න නේ අත්තිවාරම් දාන්නෙ නෑනෙ නැනේ.


නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි

කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි....

 මේ සිංදු ඇහෙන හැම වෙලාවකම වගේ මට මතක් වෙන්නේ පත්තරේ දැකපු දෙයක්. "දික්කසාද නඩුවකට උසාවියට ආපු පවුලක් තරුණ බිරිඳ එක එක හේතු කියද්දි ස්වාමියා ඔහේ අහන් හිටියා එයාගෙ ඇස් තිබ්බේ තමන්ගේ අම්මා අතේ හිටපු තමාගේ හුරතල් කොල් පැටියා ලඟයි ඉතින් චෝදනා මොනාද ඒවා ඇත්තද කියලවත් එයාට සිහියක් නෑ කොහොමහරි දික්කසාද තීන්දුවට අමතරව අර පොඩි කොලු ගැටයාගේ අයිතිය ලැබුනේ අම්මට ඉතින් දරුවෝ පොඩ්ඩක් වඩා ගන්න ලැබුණ අවසරයෙන් පස්සේ දරුවා බිරිඳ උදුරා අරගෙන යන දිහා දරුවයි තාත්තයි දෙන්නම අඬ අඬා බලාගෙන හිටියලු" ඒක නීතීඥ තුමෙක් පත්තරේට කියපු කතාවක්. දික්කසාද වුණා කියලා දෙන්න සතුටින් ඉදියිද. දරුවෙක් ලැබෙන කල්ම එයාලට එයාලගේ නොගැලපීම් තේරුනේ නැද්ද. තාත්තට අයිති වුණත් අම්මට අයිති වුණත් දරුවා දෙන්නගෙම උණුසුම හොයනවා. ඒ දරුවාට වෙන කෙනෙක් නියම උණුසුම දෙයිද. මොනදේ උනත් නිතරම වගේ ලේවල ඝණකම බලපානවා ලු නේ.මොන තීරණය ගන්න කලින් වුණත් අනිවාර්යෙන් පියවර 10ක් වත් ඉස්සරහට හිතන්න ඕනේ. ඒක චෙස් ක්‍රීඩකයන්ගේ ටිප් එකක්. ඒක සාමාන්‍ය ජීවිතයට ගොඩක් වටිනවා. ෆැන්ටසි හීන ම නෙමෙයි ඒ අස්සෙ භයානක හීනත් දකින්න. ඒවට පිළියම් හොයාගන්න ලේසියි එතකොට.


පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා

හැමදාම වැරදිමයි කලේ දැන දැනාත් ඔයා

නොහඩා සංසාරේ තිබෙන තුරා

යලි නොයෙන ඔබට ආදරේ

තව තවාත් කළා......

 ගොඩක් ගීත රචනා වල තියෙන එකම අරුතක්. අත ඇරල ගියපු ඔයා මත්තෙම මම විඳවන තරම. අනේ අපොයි! ඔයාවම විතරයි මම පතන්නේ. එකෙක් මත්තෙම නහින්න එක මෝඩකමක්ද? හේතු නම් කියනවා පිස්සුද ඒක මෝඩ කමක් නෙවෙයි ඒක තමයි නියම අවංක ආදරේ. සමහරවිට වෙන්න ඇති. අනේ මන්ද අර කතාවක් තියෙන්නේ "අපි වහපු දොර දිහා බලාගෙන ඉන්න තාක් කල් අපිට ඇරලා තියෙන දොරවල් පේන්නේ නෑ" කියලා. අපි අර වහපු දොරේන් එහා පැත්තේ තියෙන අපි රසවිදපු, අපි ආස කරපු ඒව හිත හිත ඉන්නවා. ඊට වඩා සැප සම්පත් තියෙන දොරක් ඇරිලා තියෙන පුළුවන්. එහෙමත් නැතුව ඊට වඩා දුකක් දෝම්නසක් පිරුණු දොරක් ඇරිලා තියෙන්නත් පුළුවන්. ජීවිතේ කාටද වෙන්න පුළුවන් දේවල් වෙනස් කරන්න පුලුවන් එවගේම ඉස්සරහට වෙන දේවල් හරියටම කියන්න පුළුවන් එහෙම කියන්න ගිහින් නාගත්ත අයත් නැතුවාම නොවෙයි. මම කියන්නේ නැහැ ගින්නකට ඇරුණු දොරකට ගිහින් ගිනි තපින්න කියලා. දොර ඇරගෙන එළියට එන්න. ඒ දොර වහල ආයෙ ඒ දිහා නොබලා වෙන දොරක් ඇර ගන්න. ජීවිතේට මුහුණ දෙන්න. විදින්න දුන් ජීවිතය අරන් විදවන්නේ නැතුව. කර්මය කියන්නේ මොකක්ද යථාර්ථය කියන්න මොකක්ද කියන අවබෝධයෙන් ඉන්න. ඒ වගේම දැන දැනත් වැරදි කරන කෙනෙක් ලග නවතින්න එපා. එකම වැරැද්දට දෙතුන් පාර සමාව දෙන්නත් එපා. ඕනෙම නම් එක පාරක් ඒ හොදටම ඇති.......



ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ලග සිත නැවතුන දා

ප්‍රේමය හැඳින්නෙමි

මේ ලෝ තලයේ....

ජගත් වික්‍රමසිංහයන් කියන විදිහට හිනාව දැක්කම කතා ලඟ නැවතුණු හිත් ඇත්තටම ප්‍රේමය අදුනගත්තද? ඒක ආකර්ෂණය වෙන්න බැරිද?. මේ දවස් වල නම් ඒක අමාරුයි මොකද මාස්ක් එක නිසා විරිත්තුවත් කට්ටිය දන්නේ නෑනේ😄. මොනා උනත් කී දෙනෙක් හිත නැවතුනු තැන් වල ඉන්නවද මාලිගා හදාගෙන ඒවා බිඳගෙන මානසික රෝහල්වල. හිත නම් එක එක තැන්වල නවතිනවා. ඊට පස්සේ ඉතින් ඒ දුක හදවත විඳවනවා. ටිකකට කලින් මගේ හිතත් වඳුරෙක් ලග නැවතුනා. පාරේ වාහන යන වේගෙට හමන හුලං පාරට එහෙ මෙහෙ ගිය අකිකරු ලොම් කෙස් ඒ විරිත්තපු විරිත්තිල්ල ළඟ මගේ හිත ටිකක් නැවතුනා. මොනා උනත් ඔය හිත නවතින තැන්වල මාලිගා හදන්න කලින් ටිකක් හිතන්න. මොකද වවුලාගේ ගෙදර ගිහින් එල්ලිලාම ඉන්න බෑනේ. මම කිව්වේ වවුල්ලු නොවුනට අයට😊.

සිංහල සින්දු ගොඩක එකම තේරුම වගේම එකම තාලේ තියෙන්නේ. නිකං හැමෝම අඩනකොට එන්න කඳුළු වගේ තමා.

සෙවනැල්ලක් වී නුබ මාගේ සදා

ලග ඉන්න හැරයන්නෙපා මා

කවදාවත් ඔබ හැර නොයමි මා

නුඹ මාගේ ආත්මය වෙලා...


ඉන්නම් ඔබ ලග මා හැම බවයේ

අපි අපේ   වේවා

වෙන්නම් ඔබ ලොවමා හැමතිස්සේ

ඔබේ වේවා...

ඔන්න මට ටච් වුන තවත් තැනක්.සින්දු දෙකේම පද වලින් එකම දේනෙ කියවෙන්නේ. මේකේ විතරක් නෙමෙයි බස් එකේදි මම අහපු සිංදු වලින් ගොඩක ඔය තේරුමෙන් පදරචනා තිබ්බා.මතු උපදින ආත්මයක් පාසා ඔයා මගේම වෙන්න ඕනේ, මාත් ඔයාම පතාගෙන පතාගෙන එනවා, ඔන්න ඕක ඔහොම පතාගෙන ඇවිල්ලා ඔතාගෙන ගියපු ඒවා සමාජයේ ඇති වෙන්න තියෙනවා.මේක කියනකොට මට මතක් වෙන්නෙම අපේ අම්මා බණ අහනකොට මට ඇහුන දෙයක්.අපි කාවහරි පතනවා නම් ගොඩක් පරිස්සමින් කරන්න ඕන දෙයක්, මොකද බුද්ධාගමට අනුව කර්ම පලදීම හා පුනරුප්පත්තිය අපි පිළිගන්නවා අපිට කියන්න බෑ ඊළඟ ආත්මේ අපි මිනිහෙක්ම වෙනවා කියලා ඔන්න පතාගෙන ගිහින් ඊලග ආත්මේ එකෙක් මිනිහෙක් වෙලා අනික බල්ලෙක් වුනොත් කොහොමද අන්න ඒ වගේ තමයි සමහරවිට ඔය ඉන්නේ එකේ චාරිත්‍ර වලට එක එක අපල දුරු වෙන්නයි කියලා සත්තු ගස් ගල් බැඳගත්ත මිනිස්සු.ඒ විදියට පතාගෙන ආපු අය වෙන්න පුළුවන්. ඔහොම හෙවනැල්ලක් වේවා,මගේ ළඟට ම වෙලා ඉන්න මාත් ඉන්නවා ගගා කියනවා වගේම ඊට පස්සේ හදිසියේවත් එක්කෙනෙක් මැරිල භූතයෙක් වුනොත් අනිවා "හෑ මගේ මගෑ වස්තුවෑ ගාගෙන එයි පස්සෙන්.මම කියන්නෑ එහෙම පතන් නැතුව ඉන්න කියලා කෝකටත් පතල ඔතන්න කලිනුත් හිතන්න ඉක්මන කොටයි කියනවනේ...



මා නිසා ඔබ නොපිරූ පෙරුම්මා

නිසා ඔබ නොපැතූ පැතුම්ඒ

සිනාලග ඉටු වේවි නම්

ආයෙ නාවත් කම් නෑ ඉතින්.....

 

මං නුබෙමද අහන හිතින්

නුඹ මගෙමද හිතනව නම්

මං විතරද අහන මුවින්

මගෙ විතරද කියනවා නම්....

සින්දු දෙකම play උනේ එක ළඟ.  ඇත්තටම මිනිස්සු තමන්ව අත ඇරලා යන අයව බදාගෙන විඳවනවා. සමහරු අතෑරලා ගියත් ඒ ගිය අයට හරියනවට කැමති නෑ. උන් නිසා තමයි මම විනාශ වුණේ කිය කිය අනුන්ට දොස් කියනවා. සමහරු ඊට වැඩිය බරපතළ වෙනවා. මට නැත්තං වෙන කාටවත් නෑ තමා කියල, ඉතින් අවසානෙට උට ඌත් නෑ, ඉතිරු වෙන්නේ කූරු ගැන ගැන කල්දේරම් බත් කකා ජීවත් වෙන්නයි. අර වගේ හිතන්න බැරි ඇයි? ඔයා මගෙන් ලබපු නැති සතුටක් නිදහසක් එයාගෙන් ලැබෙනවා නම්, ලබා ගන්නවා නම් කමක් නෑ මම හිත හදාගන්නම් ආයෙ නාවත් කම් නෑ ඉතින්. ඔබෙ සැප මගේ සතුටයි කියලා.

අනිත් සින්දුව මං නුබෙමද අහන මුවින්... ලස්සන තේරුමක් තියෙන පද ටිකක්. අපි නිතරම අපේ පැත්තෙන් වෙන්න ඕන දේවල් හිතන්නේ නැතුව අනිත් පාර්ශ්වය අපිට දෙන්න ඕන දේවල් හිතෙනවා. අනේ එයා ඉස්සර වගේ නෙමෙයි දැන්, එයා මට ආදරේ නෑ, ඔයා ගොඩක් වෙනස්වෙලා, ඔයා මගෙම විතරද මේ මගෙම,මට ආදරෙයිද? ඔන්න ඔහොම එතනින් එහාට අපි හිතනවද, ඇයි එයා වෙනස් උනේ, මගේ මුකුත් අඩුවක් උනාද, මම එයාට කතා කරන විදිය හරිද, මම එයාට කරදරයක්ද,🤔ඇයි අපිට හිතන්න බැරි. ඕකට තමයි කියන්නේ තමා සම්මතයේ පිහිටා හිතන්න කියලා. සරලව කිව්වොත් ඔයා එයා උනානම් කොහොමද හැසිරෙන්නෙ කියලා හිතන්න. ඒකෙන් ගොඩක් ප්‍රශ්න වලට ලස්සන උත්තර ලැබෙනවා.

මං ඔබෙයි ඔබම කියයි

ඔබ මගෙද මටම බයයි

ඔබ සඳක් වගේ හැඩයි

හෙට අමාවකද සැකයි....

මගේ ආසම සිංදුව. මාරම ලස්සනයි. මුලු සිංදුවම එකම තාලෙට ගලාගෙන යනවා. හිතත් ඒ එක්කම යනවා වගේ දැනෙනවා. දයාන් විතාරණගේ සිංදුවක් බස් එකේ ප්ලේ උනේ. ඒත් මගේ ලග තියෙන්නෙ දනිත් ශ්‍රි ගේ cover එකක්. මාරම වොයිස් එක😍. මුළු සින්දුව පුරාම තියෙන්නේ අවිනිශ්චිත බව එකියන්නේ සැකයකි වගේ. හිත ලස්සනට හදාගෙන එනවා දැන් නං හරි එයා මට ගැළපෙනවා. ඔන්න අවසාන පදයෙන් එහෙමම නෙවෙයි මෙහෙම වුනොත් කියලා අපි හිතාගෙන ඉන්න එක වෙනස් කරනවා. අන්න ඒ වගේ වෙන්න ඕනේ. හැම දෙයකම දෙපැත්තක් තියනවා කියල අපි නිතරම හිතන්න ඕනේ. පුන්සඳට ආදරේ කරන අය අමාවක කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ කියනවා නේ.



සිතින් ඔබ හා බැඳී සිටිනා

ගතින් වෙන්වී දුරක හිඳිනා

හිතේ ගිනි දැල් තවම හංගා

මතින් මත් වී සතුට සොයනා....

මතින් මත් වෙලා සතුට හොයන එක තමා ගොඩක් වෙලාවට හැමෝම කරන්නේ. ඒකනෙ මොකක් හරි උන ගමන්, දුකක්, සතුටක්, මරණයක්, මගුලක්, ඕන ලබ්බකට "අද නම් බොන්න ඕනේ ආහ්..." ඔන්න ඕකයි තත්වේ. අපි මේ දවස් වල දැක්කනෙ කොච්චර ගණන් ගියත් පෝලිම් වල දිගේ වෙනසක් වුණේ නැති විත්තිය. අතෙන් කටින් නහයෙන් ඔක්කොගෙම එල්ලගෙන ගියේ. බෝතලයක් කියන්නේ රටේ ජනාධිපතිතුමාටත් වඩා බලවත් දෙයක්. බොරු නම් ඔය ඡන්ද කාලෙට බලන්න බෝතල් වල බලෙන් කීයක් එහාමෙහා වෙනවද කියලා කෝකටත් අපේ රටේ සිංදුවලින් පවා දෙන්නෙ වැරදි දෙයක්. දුකක් බූට් එකක් නම් බීපන් කුඩු වෙනකල් බීල බීලා එකේ මතේ ඉඳපන් ඒක තමයි සතුට සැපත. ඒක තමා ප්‍රශ්නෙට උත්තරේ. සිංහල රැප් වල බාගෙක කුණුහරප තියෙනවා වගේ එක රැප් එකක් හොයාගන්න හරිම අඩුයි එයාලා මල් උරන් දුමක් දාන් පාවී පාවී හීන ලෝකේ ඉන්නේ කියලා කියන්නේ නැති. ඉතින් මොකෝ දුකට සැපට ඔක්කොටම කියලා ඔහොම මත්වෙලා ඉක්මනට දෙයියො සමග වාසය බැරි නෑ..


පුදසුනක නිසල බව

ලද පෙමට තිබුණි නම්

හදවතට නොවෙයි මේ තරම් සුසුම්....

ගොඩක් වෙලාවට සමාජය කතා වෙන දෙයක් තමයි පෙම්වතාගෙන් හා පෙම්වතියන්ගේ පූජාසන වත්පිළිවෙත්. මොනා කරන්නද? පූජාසන වල පරණ මල් දැකලා තියෙනවද නෑ නේ. හැමදාම අලුත් මල් තමා තිබුනේ. මට කියන්න ඕනෙ වුනේ ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ/ ඔයා දෝත බදලා පුදන්න යන නිසා තමා ලොකුවටම වරද්ද ගන්නේ. "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"  කියනවනේ කොහොම වුණත් ගෑනු ළමයෙක් වුණත් දැනගන්න ඕනේ තමන්ව ආරක්ෂා කරගන්න. බඳින්න කලින් තමන්ව එක එක තැන්වලට උස්සන් යන්න හදන එකාව විශ්වාස කරනවද නැද්ද කියන එක තමන්ම තීරණය කරන්න ඕනි. එතටකොට අපිට, ඕක කරන්න එපා කොල්ලෝ උනාම කෙල්ලොන්ට ගරු කරන්න ඕනේ හිතපං උඹේ අම්මා ගැන නංගි ගැන අක්කා ගැන ඔය උඹලා එක්ක ඉන්නෙත් ඒ වගේ එකෙක් තමා ඔය අද ඔයා කරන්න යන දේ හෙට උඹේ නංගිට වෙන එකෙක් කරොත් ගගා පත හෑලි ලියන්න උවමනාවක් නෑ. මම කියන්නේ මොනා දේ කරන්න කලින් වුණත් දෙපාරකට වැඩිය හිතන්න. මොකද පනින්න පෙර හිතල බලන්න කියනවනේ.


රාත්‍රිය මනරම් කියා

සඳට තරුවට කවි ලියා

මාත් මගෙ හිත හදාගන්නම්

නුබත් මා ලග නැති නිසා....

අන්න පොයින්ට් එක. සාහිත්‍ය රසාස්වාදය කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේ ඕනෙම ආකාරයකින් වෙනස් කරන්න පුළුවන් දෙයක්. සින්දු අහන එක විචාර ලියන එක පොත් කියවන එක විතරක්ම නෙමෙයි සාහිත්‍ය රසාස්වාදය. කවි ලියන්න, කතා හදන්න, නිසදැස්, සින්දු කියන්න, චිත්‍ර අදින්න ඔය හැමදේම. මේ පද එක්ක මට මතකෙට එන්නේ 'සඳකැන් වැටිලා අඳුරේ එතිලා....' සිංදුවයි. ඒ සිංදුවේ උපත් කතාව අද සමාජය ගොඩක් දෙනෙක් දන්නවා. බලන්න ඒ සිද්ධිය එදා එයා ගීතයක් කරා. සිද්ධියේ මැද්දට පැනලා ගහ මරා ගන්නේ නැතුව. ඒ නිසා අපිට තව ලස්සන සින්දු ගොඩක් ලියන්න එයාට පුළුවන් වුණා. තමන්ගේ හිතට එන ඕනෑම හැගීමක් පිට කරන්න හොඳම විදිය තමයි පෑන, පැන්සල, පින්සල. මම කිව්වේ පිහිය වෙනුවට පෑනක් අරන් ගිහින් අනින්න කියලා නෙවෙයි. හැඟීම් වචන විදිහට නැත්තං රූප විදිහට පෑනෙන්, පැන්සලින්, පින්සලෙන් එළියට දාන්න ඒක ගැනයි ඒක ගොඩක් ගැටළු වලට හිතන්නේ නැති උත්තර හොයා ගන්න උපකාර වෙනවා. ඒ වගේම හිතටත් ලොකු නිදහසක් දැනෙනවා. අපි ආසාවෙන් බලන harry potter කතාවත් ඒ වගේ තමයි තමන්ගේ හිතේ පීඩනය වචනවලින් පිටතට දැම්මා. දැන් මුළු ලෝකයක් ආදරේ කරන කතාවක් වෙලා. ඉතින් ඔයත් ඒක පුරුදු වෙන්න. කියන්න බෑනේ හැරීපෝටර් ට ගහන්න කෙනෙක් ඔයාගෙන් ඉපදුනොත්......

ඔය ඇස් කතා කරනවා

මගේ දිහා බල බලා

හිරිමල් හිතේ නැවතිලා.....💕

 නෑ නෑ ඒක driver අයියගේ playlist එකේ සින්දුවක් නෙමෙයි. මගේ හිතේ මේ වෙලාවේ ප්ලේ වුනේ. මගේ සීට් එකට එහා පැත්තෙ ඉඳගෙන ඉන්න කෙනාගේ තමා ඇස් කතා කරන්නේ. මාස්ක් එක නිසා කට නම් පේන්නේ නෑ මම හිනා උනාට පස්සෙ තමයි මතක් උනේ මාස්ක් එකක් දාගෙන කියලා. මොනා උනත් ඩ්‍රයිවර්ගෙ playlist එකේ සින්දු වල පද පෝන් එකේ type කර කර බහුබූත හිතන එක නතර කරන්න හිතුවා. එයා හිතුවොත් මම කෑල්ල එක්ක මැසේජ් කර කර යනවා කියලා. හැමදාම ඉතින් තනිකඩව ඉන්නත් බෑනේ නේද ...😉

                                                                                                 යුකී.

 

 

 

Post a Comment

0 Comments